Thursday, June 1, 2023

ශ්‍රී ලංකාවේ බලි යාගය

 

                               ශ්‍රී ලංකාවේ බලි උපත හා විකාශනය

 

විශ්වාසය මත පදනම් කරගත් යාග කර්ම ක්‍රමයක්‌ ලාංකේය සමාජයේ ද බොහෝ කලක සිටම පැවති බවට මහාවංශයෙන් කරුණු හෙළිවෙයි. එවිට ප්‍රථම ආර්යාගමනය සිදුවන්නේ ම භාරතයේ යාග සංස්‌කෘතිය වඩාත් ප්‍රචලිත වුණු වෛදික යුගයේදීය. එහි සඳහන් පරිදි  උසස්‌ හා සාමාන්‍ය බමුණන්  ලංකාවේ විසූ බවටත් අනුරාධපුරය සමීපයේ මෙබඳු බමුණු ගම් පැවැතුන බවටත් සාක්‍ෂි සෙල්ලිපි ආශ්‍රයෙන්  හඳුනාගත හැකි බව  විචාරකයන්ගේ  මතයයි.

 

පණ්‌ඩුකාභය රජුගේ අනුරාධපුර නගර නිර්මාණ කටයුතු විස්‌තර කරන මහාවංශයේ පරිච්ඡේද තුළ ද බලි යාගය හා සම්බන්ධ ඇතැම් පුවත් දැක ගත හැකිය. මෙහිදී බ්‍රාහ්මණයන්ගේ වාසය සඳහා නිවාසස්‌ථාන. ආගමික කටයුතු සහ ස්‌ථාන ද (ශිව ලිංග තැන්පත් කරන ගල යන අර්ථයෙන් එන ප්‍රසූතාගාර) ඉදි වූ බවත්, පූජා හා ශාන්තිකර්ම කිරීම සඳහා ස්‌ථානයක්‌ ද රජු විසින් ඉදිකරන ලද බවත් හඳුනාගත හැකිය. මේ අනුව මූලාශ්‍රයක්‌ ලෙස මහාවංශයේ තොරතුරු විශ්වසනීය වේ. ක්‍රි. පූ. 3 වැනි සියවස තරම් (පණ්‌ඩුකාභය රජ සමය) ලංකාවේ  ශාන්තිකර්ම කරන ලද බව අනුමාන කිරීම සාධාරණය. ඉන් වසර 1500 කට පමණ පසු පොලොන්නරුව රාජධානිය කොටගෙන රජකම් කළ නිශ්ශංකමල්ල රජ සමයේ (ක්‍රි. ව. 12 වැනි සියවස අග) නවග්‍රහයන් තේමා කරගෙන පැවැත්වූ පූජාවක්‌ පිළිබඳව ශිව දේවාල පුවරු ලිපියෙන් තහවුරු වෙයි. ඉන් වසර හැටක්‌ ගිය තැන අලුත්නුවර මහා දේවාලය කරවීම හා සම්බන්ධ පැරැණි ලිපියක ද ඒ යුගයේ කළ ශාන්තිකර්මයක්‌ ගැන කරුණු සඳහන් වෙයි. තවද දඹදෙණිය රජ කල  දෙවන පණ්‌ඩිත පරාක්‍රමබාහු රජු (ක්‍රි. ව. 1236 - 1270) සිය විසිවන රාජ වර්ෂයේදී ස්‌වකීය පුද්ගලික කායික ආබාධයක්‌ සුවකර ගැනීමට කළ ශාන්තිකර්මයක්‌ ගැන ද සඳහන් වේ. නමුත් මෙය රෝගය සුව කිරීමට සමත් නොවූ බව රජු විසින් ම රචනා කරන ලද "දඹදෙණි කතිකාවතේ" හි සඳහන් "උපන් රෝගය නිසා බලිබත් කියවීම ආදී නොසරුප් කටයුතු නොකළ යුතු" යන පාඨයෙන් ම පැහැදිලි වුවත් යාග කර්ම ගැන හොඳ ඉඟියක්‌ ඉන් ලැබේ.

 

සිංහල සාහිත්‍ය තුළ බලිය හා සම්බන්ධ විවිධ වචන, බලි, බිලි, බලි කර්මාන්ත, බලිබත්, බලි බිලි ආදී වශයෙන් හදුනා ගත හැකිය. බලි යන්නට අදාළව භාරතීය සංස්‌කෘතිය තුළ යෙදී තිබුණ අර්ථකථනයන්ට වෙනස්‌, අලුත් අර්ථකථනයක්‌ ලංකාවේදී එකතු වී ඇති බවට සාධක හමුවෙයි. බලි යනු බලි පූජාවක්‌, යාගයක්‌ හෝ රූපයක්‌ ලෙස නොව යක්‍ෂාදීන් වෙත කැප කරනු ලබන ප්‍රාණවත් පිදෙන්නක්‌ බවට අදහසක්‌ "මිහින්තලා" හා "රඹෑව" සෙල්ලිපි වලින් හමුවෙයි. එහි සඳහන් "බලිබත්", "බලිසහල්" යන පාඨයන්ය.

එකී අදහසට ඉඟි සපයන බව විද්වතුන්ගේ මතයයි. මේ කිසියම් තෑගි බෝග වශයෙන් දුන්නේ යෑයි සිතිය හැකි බත් හෝ සහල් වැනි දෙයක්‌ හැඳින්වීමට යෙදූවක්‌ විය හැකි බවට විනී විතාරණ මහතා සඳහන් කර තිබේ. (විනී විතාරණ බලියාගය - 1992)

 

බලියාගයේ උපත පිළිබඳ ලාංකේය සිංහල සමාජයේ පවතින ප්‍රධාන මතයන් උත්තර භාරතය හා බැඳෙයි. දඹදිව මහා සම්මත රජ කල්හි එය ආරම්භ වූ බව ඉන් ප්‍රබලතම අදහස වන අතර එය විශාලා මහනුවර ලිච්ඡවින්ගෙන් ආරම්භ වූ බවට ඇති මතය අනෙකයි. බුද්ධ කාලයේ විශාලා මහනුවර ඇති වූ "තුන්බිය" පාලනය කිරීම සඳහා කරන ලද විවිධ පුද පූජා ආශ්‍රයෙන් ගොඩනැගුණු අදහසක්‌ ද යන්න තවදුරටත් විමසා බැලිය යුත්තකි. රතන සූත්‍රයේ සඳහන් "දිවාච රත්තෝච හරන්තියේ බලිං" යන ප්‍රකාශය සනාථ කරන්නේ යෑයි සිතිය හැක්‌කේ, තුන්බිය සමනය කිරීම සඳහා රතන සූත්‍රය දේශනා කිරීම ප්‍රමුඛ කොට ගත් පුද පූජා ක්‍රියාවලියක්‌ එදවස භාරතයේ සිදු වූ බවට බෞද්ධ සාහිත්‍යයේ සඳහන්වේ. එයින් තහවුරු කර ගත හැකි අනෙක්‌ ප්‍රබල සත්‍යයක්‌ වන්නේ බුදුන් වහන්සේ ප්‍රමුඛ බෞද්ධාගම බලි පූජාව යම් තරමකින් හෝ අනුමත කර ඇති ආකාරයයි.

 බලි යාගය වෛදික බ්‍රාහ්මණ සමාජය කේන්ද්‍ර කරගෙන බිහි වී ලංකාවට සංක්‍රමණය වී, ස්‌ථාපිත වන්නේ ද වෛදික පූජා කර්මයක්‌ ලෙසිනි. කෝට්‌ටේ යුගයේදී තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ හා වීදාගම හිමියන්ගේ ද මැදිහත් වීමෙන් බලි යාගය සම්බන්ධ බෞද්ධාගමික ක්‍රමවේදයන් ගොඩනැඟුණු බව ද සඳහන් වෙයි. සිංහල බලියාගය කෝට්‌ටේ යුගයේදී ආරම්භ වූ බවට නූතන බලි ඇදුරන් අතරේ මතයක්‌ පවතින්නේ මේ නිසා විය යුතුය. ස්‌වදේශික බලියාගය කෝට්‌ටේ යුගය තුළදී මෙසේ නැවත සකස්‌ වුණු බවට "යාග සංග්‍රහය" නම් කෘතිය සාධක සපයන බවට විනී විතාරණ මහතා ස්‌වකීය කෘතිය සඳහන් කරයි. (විනී විතාරණ - බලි යාගය - 1992) එසේ වුවත් එය සමකාලීන කෘතියක්‌ ලෙස හඳුනා ගැනීමට නොහැකි වීම නිසා ඒ පිළිබඳව නිගමනය කිරීමට "යාග සංග්‍රහය" වඩා සුදුසු නොවන බව ද ඔහු සඳහන් කරයි. තවද බලි යාගයට සංස්‌කෘත ශ්ලෝක එකතු කිරීමට මහත් උත්සාහයක්‌ දැරූ කෝට්‌ටේ යුගයේ විසූ ශ්‍රී රාමචන්ද්‍ර භාරතී නම් පඬිවරයෙක්‌ ගැන ද එහිම සඳහන් වෙයි. කෙසේ හෝ වර්තමානයේ ලාංකේය බලි කර්මය පූර්ණ ලෙසම සිංහල බෞද්ධ සංකල්පය පදනම් කරගෙන ක්‍රියාත්මක වන්නක්‌ බව පැහැදිලිය.

ක්‍රි. ව. 1505 න් ආරම්භ වන යුරෝපීය යටත් විජිතවාදී මැදිහත්වීම මෙරට සංස්‌කෘතියේ බොහෝ අංශ කෙරෙහි ප්‍රබල බලපෑම් කිරීමට සමත් වුවත්, ශාන්තිකර්ම සම්බන්ධයෙන් එතරම් බලපෑම් සිදු වූ බවට හඳුනා ගත හැකි සාධක ඉතා විරලය. එසේ වුවත් එවැනි බලපෑමකින් හෝ බලපෑමකින් තොරව හෝ ඒ යුගයේදී බලි ශාන්තිකර්මය පූර්ණ ලෙසම අභාවයට නොගිය බවට සාධක විරල නොවේ. 17 වැනි සියවසේදී (1618 - 1620) අලගියවන්න මුකවෙටිතුමා විසින් රචිත "කුස්‌තන්තීනු හටන" හි එන පැදියකින් එය සනාථ කරයි.

 

                                               "නෙකසිත් තම් මැදි මනර ම

                                              සිරිමත් සුරවිමනක්‌ ස ම

                                              යහපත් "බලිබත්" කුඩ ම

                                              ගිනිගත් රග කියනුම කි ම"

 

මෙහි සඳහන් "බලිපත් කුඩම" යනු බලි අරින ලද කුඩම යන්න විය හැකි බව සෝරත හිමියන්ගේ අදහස යෑයිද, බලි පිණිස බත්දෙන තැන යන්න තමාගේ අදහස බව ද ජේ. ඊ. සේදරමන් සඳහන් කරයි. (ජේ. ඊ. සේදරමන් - බලි යාග විචාරය නොහොත් ලංකාවේ බලි උපත) තවද සෙංකඩගල රාජ්‍ය සමයෙහි ශාන්තිකර්ම පැවැත්වීම සඳහා රාජ සභාව තුළ "බලිබද්ද" නමින් කාර්යාංශයක්‌ පිහිටුවා තිබුණු බවද, වසරකට තෙවරක්‌ පැවැත්වූ මහා වන්නියේ බලියාගය" පැවැත්වූයේ මෙම යුගයේ බව ද ඔහු සඳහන් කරයි. දස්‌කොන් අදිකාරම හා රාජ දේවය අතර පැවතුන ප්‍රේම සම්බන්ධය පිළිබඳ පුවත ද සෙංකඩගල බලියාගය පිළිබඳ තොරතුරු සපයයි. රජ කුමරිය වෙනුවෙන් කෙරුණු බලි ශාන්තිකර්මයක්‌ සඳහා තනන ලද ප්‍රතිරූප බලි රුවෙහි කිසියම් අඩුපාඩුවක්‌ පෙන්වීම නිසා රාජ උදහසට ලක්‌ වූ අදිකාරම රජු වෙතින් මැරුම් කෑ බව එහි සඳහන් වෙයි.

ලංකාවේ බලියේ විකාශනය හා ආරම්භය හඳුනාගැනීමේ පටන් එය ලංකා සමාජයේ විවිධ අවස්‌ථාවල භාවිත වුණු ආකාරය හඳුනාගත හැකිය. එමෙන්ම ඉතිහාසයේ විවිධ අවස්‌ථාවල එහි භාවිතාව පිළිබඳ වූ මේ අවස්‌ථාවන් හඳුනා ගැනීම තුලින් එය අඛණ්‌ඩව ගලා එන ජන සම්ප්‍රදායක ලක්‍ෂණ ප්‍රකට කරන බව ද හඳුනාගත හැකිය. ඒ සම්ප්‍රදාය වර්තමානයේදී ක්‍රියාත්මකය. බලිය හා බලි යාගය පසුබිම්ව කෙරුණු නූතන පර්යේෂණ හා එකී සවිස්‌තරාත්මක මූලාශ්‍ර පමණක්‌ නොව. අධ්‍යතනයේත් දැක ගත හැකි එවැනි ප්‍රායෝගික තලයේ බලි යාගයන් එය වඩාත් සනාථ කරයි.

ශ්‍රී ලංකාවේ බලි ශාන්තිකර්ම හා සම්බන්ධ ප්‍රධාන සම්ප්‍රදායන් පහක්‌ පිළිබඳ නූතන විද්වත්හු සඳහන් කරති. එනම් උඩරට බලි, පහතරට බලි, ඌවේ බලි, නුවර කලාවියේ බලි, සබරගමු බලි වශයෙනි. මේ හා බැඳුණු බලි දහස්‌ ගණනක්‌ පිළිබඳව පොත පතේ සඳහන් වෙයි. ඒවා ඇතුල් පන්තියේ බලි හා පිට පන්තියේ බලි වශයෙනි. ප්‍රධාන කොටස්‌ දෙකකට වර්ග කර දක්‌වා තිබේ. ඇතුල් පන්තියේ බලි 7700 ක්‌ ද පිට පන්තියේ බලි 8400 ක්‌ ද ඇති බව යාගය හා සම්බන්ධ යාතිකාවල කියෑවෙන බව පියසාර ශිල්පාධිපති මහතා සඳහන් කර තිබේ. (සමජ්ජ සංහිතා - බලියාග විචාරය සංස්‌. සෞ. ක. වි. පර්යේෂණ හා සන්නිදර්ශන කමිටුව - 1996) එසේ වුවත් මෙම සංඛ්‍යාවන් පිළිබඳ නිවැරැදි නිගමනයන් කළ නොහැකි බව බොහෝ පර්යේෂකයන්ගේ මතයයි.

බලියාගය පිළිබඳ පොත පතේ සඳහන් වන ආකාරයට මෙන්ම ජනප්‍රවාදගතව පවතින කරුණු වලට ද අනුව පන්තියේ බලි නමින් හැඳින්වෙන ප්‍රධාන බලි වර්ග තිස්‌පහක්‌ (35) භාවිතයේ පවතින බව හඳුනාගත හැකිය. එනම් අත්බලි, පත්බලි, වැලි බලි, මත්ස බලි, දෙවිබලි, සුර බලි, ගඟ බලි, වරුස බලි, මස්‌බලි, පක්‍ෂ බලි, දින බලි, නක්‍ෂත්‍ර බලි, රාෂි බලි, චක්‍ර බලි, හිත් හතර බලි, අට රකුසු බලි, කල්‍යාන බලි, මංගල්ල බලි, මහලු බලි, වෙස්‌ බලි, දසාලන් බලි, අෂ්ට බලි, යාග බලි, සක්‌ බලි, පිසදක්‌ බලි, අත්තහිමි බලි, කඩ බලි, මල් බලි, යාත්‍රා බලි, අහස්‌ බලි, කුළු බලි වශයෙනි. මේවා අතරින් වර්තමානයේ පවතින්නේ අත් බලි, විස්‌කම් බලි, මල් බලි, දිය කොරහ බලි, නවග්‍රහ බලි, දේවකන්‍යා බලි වැනි බලි පමණක්‌ බවයි විද්වතුන් සඳහන් කරන්නේ.

 

බලි පිළිබඳව මෙසේ නාමිකව සඳහන් වුවත් ප්‍රාදේශීය වශයෙන් පවතින විවිධ විශේෂතා අනුව මේවා වෙනස්‌ වන බවද හඳුනා ගත හැකිය. ලංකාවේ සෙසු බලි ශාන්තිකර්ම අතර නුවර කලාවියේ බලි මෙවැනි විශේෂතා රැසකින් යුක්‌ත බව මුදියන්සේ දිසානායක මහතා පෙන්වා දෙයි. (මුදියන්සේ දිසානායක දෙමළ හත්පත්තුවේ ඇදහිලි, විශ්වාස හා ශාන්තිකර්ම - 1996) ලංකාවේ එතරම් වැසි නොලැබෙන ප්‍රදේශයක්‌ වන නුවරකලාවියේ, වැස්‌ස ලබා ගැනීම අරමුණු කරගෙන බලි කර්ම කීපයක්‌ම නිර්මාණය වී ඇති බව ඔහු පෙන්වා දෙයි. සුසුක බලිය, හෙළුවැලි බලිය, ශ්‍රී විෂ්ණු හර්ෂාධිපති බලිය එවැනි විශේෂිත වූ බලි ලෙස ඔහු හඳුන්වා දෙයි.

එමෙන්ම චාරිත්‍ර, විධි, සැරසිලි ක්‍රම, ඇඳුම් පැළඳුම් ආදිය ද ප්‍රාදේශීය වශයෙන් විවිධ වෙනස්‌කම්වලින් යුතුය. ගයන, වයන, ආදිය තුළ ද එසේමය. තවද බලි යාගයකදී බලිය නිර්මාණය කිරීම සිදුවන්නේ ආතුරයාගේ කෙන්ද්‍රයට අනුව බව පැවසේ. (ආතුරයා යනු බලි යාගයට භාජන වන පුද්ගලයා ය. බලි ශාන්තිය අපේක්‍ෂා කරන පුද්ගලයා ය. නැතහොත් රෝගියා ය. මෙය ශාන්තිකර්ම විෂයයෙහි භාවිත වන සාම්ප්‍රදායික වචනයකි. මෙලස බලි ශාන්තිකර්මය කරන පුද්ගලයා බලි ඇදුරා නොහොත් කට්‌ටඬියා ලෙස ද හැඳින්වේ.) මෙහිදී ආතුරයාගේ රෝග කාරක ස්‌වරූපයන් ද බලිය නිර්මාණයේදී සැලකිල්ලට ගනී.

ලංකාවේ බලියාගය සම්බන්ධව යමක්‌ සඳහන් කළ ප්‍රථම විදේශිකයා ලෙස වසර විස්‌සක්‌ (20) උඩරට ගත කළ (17 වැනි සියවස) රොබට්‌ නොක්‌ස්‌ සඳහන් කළ හැකිය. බලි යනු පිදුම් නැටුමක්‌ බවත්, යක්‌ නැටුම් සඳහා අඹන ලද බලි වූ බවත්, ශාන්තිකර්ම අවසානයේ ඒවා මාවත් වලට විසිකර පෑගෙන්නට හැරි බවත් රොබට්‌ නොක්‌aස්‌ සිය කෘතියේ සඳහන් කරයි. මෙහි යම් සත්‍යතාවක්‌ ඇති බවට සාධක අද්‍යතන සමාජය ද ප්‍රකට කරයි. කලාතුරකින් හෝ පැවැත්වුණ එවැනි යාගයකදී යොදාගත් බලිතටු, පිදෙන්නක්‌. මංසන්ධියක දමා තිබෙනු ඇතැම් විට වර්තමානයේද දැකිය හැකිය. ඉතා නවීකරණය වුණු සංකීර්ණ කොළඹ නගරයේද ඇතැම් මංසන්ධියක ඇතැම් විට පූජාවක්‌ සඳහා යොදාගත් මෙවැනි බලි තටුවක්‌ පිදෙන්නක්‌ තබා තිබෙනු දැක ගත හැකිය.

 

 

v                                           බලි නිර්මාණය

 

බලි නිර්මාණ කලාවට ද බලි ශාන්තිකර්මයට තරම්ම දිගු ඉතිහාසයක්‌ ඇති හෙයින් බලිය පිළිබඳව ද බොහෝ කරුණු පොත පතේ සඳහන් වෙයි. වෛදික යුගයට අයත් භාරතීය ග්‍රන්ථ රැසකම බලි නිර්මාණය ගැන සඳහන් වෙයි. චිත්‍ර කර්ම ශාස්‌ත්‍රය, ගෘහ නිර්මාණ ශිල්පය ආදී පැරැණි කලා නිර්මාණ පිළිබඳව "මයිමනය හෙවත් පුරාණ ගෙබිම් ශාස්‌ත්‍රය", "මත්ස්‍ය පුරාණය", "ගරුඬ පුරාණය", "වෛජයන්ත තන්ත්‍රය" වැනි කෘතීන් ද ප්‍රතිමා නිරූපන ශිල්ප ක්‍රමය පිළිබඳ සඳහන් "ශාරිපුත්‍රය" ආදී කෘතීන් ද බිහි වූ ආකාරයට බලි ශාන්ති කර්මය පිළිබඳව ද ලියෑවුණු පොත පත ඇති බව හඳුනාගත හැකිය. මීට අමතරව බලි නිර්මාණය පිළිබඳව බොහෝ කරුණු පොත්පත්වල මෙන්ම ජනප්‍රවාදගතව පවතින ඇඹුම් කවිවලින් ද හඳුනාගත හැකිය. බලි ඇඹීම පිළිබඳ සියලු ශිල්ප ශාස්‌ත්‍ර, විද්‍යාත්මක විධි ඇතුළත් වී ඇත්තේ මේ බලි ඇඹුම් කවිවලය.

බලි සැකසීම සඳහා යොදා ගන්නා නිර්මාණ ක්‍රම දෙකක්‌ ශ්‍රී ලංකාවේ භාවිත වන බව හඳුනාගත හැකිය. එනම් කඩබලි හා රූපබලි වශයෙන්. කඩබලි යනු චිත්‍රනය මගින් රෙදිකඩක සකසා ගන්නා බලියයි. රූප බලි යනු මැටියෙන් අඹා පින්තාරු කර සාදා ගන්නා ඇඹුම් බලියයි.

බලි නිර්මාණකරණය සරල ක්‍රියාවක්‌ නොව එකිනෙක බැඳුණු සංකීර්ණ ක්‍රියාවලියකි. පොත පතේ සඳහන් වන ආකාරයට මෙන්ම ජනප්‍රවාදයේ පවතින ආකාරයටත් බලි නිර්මාණය හා සම්බන්ධ ක්‍රියාවලිය පිළිවෙළකට මෙසේ හඳුනාගත හැකිය.

 

                              * බලි මැසි නැගීම හෙවත් මැසි බැඳීම

                             * බලි මඩුව තැනීම

                            * තුඹස පේ කිරීම

                            * මැටි පදම් කිරීම

                            * මැටි අතින් පේ කිරීම.

                            * අත් බලිය සෑදීම

                          * බලිය ඇඹීම

                           * වර්ණ ගැන්වීම

                         * නේත්‍රා තැබීම

                           * බලි නැගී සිටුවීම හෙවත් කෙලින් සිටුවීම වශයෙනි.

 

ඇඹීම සඳහා මැටි තෝරා ගැනීමේදී හුඹස්‌ මැටි වඩාත් සුදුසුම මැටි ලෙස සැලකෙන අතර බොහෝ විට යාග භූමියට උතුරු දෙසින් පිහිටි තුඹසකින් තෝරා ගැනීම සම්ප්‍රදායකි. මැටි පේ කිරීම සිදුවන්නේ මැටි කැපීමට පෙර දිනය. තුඹස වටා ගොක්‌ රැහැන් ඇද සරසා පුද සත්කාර කරන්නේ මේ පළමු දිනදීමය. (මැටි පේ කිරීම යනු මෙයයි පසුව විස්‌තර වෙයි.)

බලි නිර්මාණයේ මූලිකම කාර්යය බලිය ඇඹීමයි. ඇදුරෙකු විසින් මැටි පිඩක්‌ ගෙන තුන්වරක්‌ හිස වටා කරකවා මැස්‌ස මතට දැමීමත් සමඟ සම්ප්‍රදායානුකූලව ඇඹීම ආරම්භ කරයි. ආරම්භයේදී තෙරුවන් ගුණ සිහිකිරීම ද බොහෝ දුරට සිදුවේ. ලාංකේය බලි ශාන්තිකර්මය පුරාම මේ ආගමික නැඹුරුව ද හඳුනාගත හැකිය. එය පොත පතේ ද සඳහන් වෙයි. විනී විතාරණ මහතා එය සඳහන් කරන්නේ "බලි යාගය මෙන්ම ඇඹීම ද ආරම්භ කරන්නේ තෙරුවන් සිහි කිරීමෙනි. බලි රඟමඬලක්‌ වනාහි යම්තාක්‌ ප්‍රමාණයකට පිරිත් මණ්‌ඩපයක අනුකරණයකැයි තිරසරව පිළිගත හැකිය" යනුවෙනි. (විනී විතාරණ - බලි යාගය)

බලි මැසි නැගීම හෙවත් මැසි බැඳීම බලි ශාන්තිකර්මය හා සම්බන්ධ ආරම්භක කාර්යයයි. නියමිත ග්‍රහයන්ට අනුව බලියේ ප්‍රමාණයට ද අනුව ප්‍රමාණවත් මිමි ගණනය කිරිමෙන් මැසි සැකසීම සිදු කරයි. බොහෝ විට ඔත්තේ සංඛ්‍යා වලින් මෙම මිමි යොදා ගැනීම විශේෂත්වයකි. බලි හා බැඳුණු ඇඹුම් කවි වලින් බලි මැසි බැඳීම පිළිබඳ විස්‌තර කරුණු හඳුනාගත හැකිය.

 

"උසින් එකොළොස්‌ වියන් පළලින් වියත් පමණක්‌ මැස්‌ස ගන්නේ. හොඳින් ඇදුරා පේව දත මැද ගෙයක්‌ පිරිබඩ ලමින්නේ."

 

ඇතැම් බලි ශාන්තිකර්ම සඳහා විශාල බලි සාදාගන්නා බැවින් පොල් පරාල වැනි ශාක්‌තිමත්, දැව ද මැසි බැඳීමට යොදා ගනී. පොල් පිති පතුරු ගෙන හරහට තබා බඳියි. බලි මඩුව සකසා ගැනීම ඊළඟ මූලික කාර්යයි. මෙයද බලියේ උස්‌ මිටි ප්‍රමණයට අනුව පරිමාණයට සාදා ගනී. බලි ඇදුරකුගේ මුල්ම ප්‍රධාන කාර්ය ලෙස සැලකෙන්නේ මැටි පේ කිරීමයි. මෙහිදී බොහෝ විට ප්‍රධාන ඇදුරෙක්‌ සහභාගි වීම චාරිත්‍රයකි. සුදු පිරුවට ඇඳගත් ඇදුරා සුදු හඳුන්, පොල්කිරි. අමු කහ, කල්ක ආදිය මුසු කරන ලද කහ වතුර මතුරා ඉසියි. බලිය සම්බන්ධ මුල්ම වැදගත් කාර්යය ලෙස මෙය සැලකෙන බැවින් බොහෝ විට එය නැකතට සිදු කරයි. බලි ඇඹීම ආරම්භ වන්නේ මින් පසුවයි. මුලින්ම මැටි තටුවක්‌ මැස්‌ස මතට දමා ඒ මත රේඛාවෙන් බලිය නිර්මාණය කරයි. අනතුරුව ඇඹීම ආරම්භ කරයි. බලි නිර්මාණය ඇතැම් විට ඉතා සංකීර්ණ ක්‍රියාවලියක්‌ විය හැක. එසේ වන්නේ බොහෝ විට බලියේ ස්‌වරූපය අනුවය. ඇතැම් බලියකට මුහුණු සිය ගණනකි. මහා නීල රාක්‍ෂ බලිය එවැන්නකි. තවද ප්‍රධාන බලියට අමතරව පරිවාර වශයෙන් ද බලි රූප නිර්මාණය කරයි. ඒ අනුව ප්‍රධාන බලියට පරිබාහිරව සිංහ, නාග, ඌරු, අස්‌, ගොන් මෙන්ම ඇතැම් විට නර රූපද, නව ග්‍රහයන් හා සම්බන්ධ පුන්කලස්‌, සංඛය, චාමරය, පොත, ලතාවැල, බඳ වෙළුම, අංකුස ආදිය ද චිත්‍රනය කිරීම බොහෝ දුරට සිදුවේ. තවද ප්‍රධාන බලියට අමතරව බලි මැස්‌සේ සිව්කොනේ යක්‍ෂ රූප චිත්‍රනය කිරීම ද සිදුවෙයි. බොහෝවිට ප්‍රධාන බලියට අමතරව මංගල සංකේත නිරූපන බලි ආදී සෙසු බලි චිත්‍රනයෙන් නිම කර ගැනීම ද සිදුවෙයි.

 

බලියක්‌ ඇඹීමේදී බොහෝ විට ශිල්පීන් කිහිපදෙනෙකු සම්බන්ධ වීම වැළැක්‌විය නොහැක. එසේ වුවත් ඇතැම් පොතක සඳහන් වන්නේ මූර්තිය ආරම්භයේ සිට වර්ණ කිරීම දක්‌වා සියලු කටයුතු එක්‌ අයෙකු විසින් සිදු කිරීමේ පිළිවෙතක්‌ ද පවතින බවයි. බලි රූප නිරූපනයේදී ඒ ඒ බලියට නියමිත හැඩය ලබා ගැනීම ඉතා වැදගත් කාර්යයකි. මෙහිදී සාම්ප්‍රදායික ශිල්පීන් සිය මහපට ඇඟිල්ල සහ දබර ඇඟිල්ල යොදා ගනිමින් අපූරුවට එය නිම කිරීමට සමත් වෙයි. මේ ආකාරයට බලියට අදාළ මුහුණ ඉතා හොඳින් මතුවන ආකාරයට නිම කිරීම "ත්‍රිමාන්" ලෙස ද, සාමාන්‍ය ලෙස මතු කිරීම "බිමාන්" ලෙස ද හඳුන්වයි. මෙය නූතන චිත්‍ර මූර්ති කලාවේ භාවිත "ත්‍රිමාණ" සහ "ද්විමාන" නිරූපනයමය.

 බලි ඇඹීම පිළිබඳ කියෑවෙන කවි තුළින් ඒවායේ නිර්මාණ ක්‍රියාවලිය පිළිබඳ මනා අවබෝධයක්‌ ලබා ගත හැකිය. "කාල මූර්ති බලිය" පිළිබඳ ඇඹුම් කවියක්‌ මේ ආකාරයට හඳුනාගත හැකිය.

 

                                               "පසන් මුවින් බබලන අත් දහසකි

                                               ඔටුනු දැරූ රජ රන්වන් පාටකි

                                               අඹනුය උඩුකර නැගි සිය යහනකි

                                               දස අත වෙළුනයි සර්වාභරණෙ කි"

 

මුදියන්සේ දිසානායක - සම-ජ සංහිතා - බලියාග විචාරය - සෞන්දර්ය කලා වි. වි. පර්යේෂණ හා සන්නිදර්ශන කමිටුව.)

 බලි නිර්මාණය පිළිබඳ කවි බොහෝ ඇතත් ඒවායින් බලිරූප වල මිමි ප්‍රමාණයන් පිළිබඳ හඳුනාගත හැක්‌කේ ඉතා අල්ප වශයෙනි. "විස්‌කම් බලියේ" ඇඹීමේ මිමි ප්‍රමාණයන් දක්‌වා ඇත්තේ මෙසේය.

 

                                                 "දෙව්රුව නියම උස

                                                 නමයට බෙදා එක ලෙස

                                                   ඉන් එක මුව පෙදෙ ස

                                                  දිගින් පුළුලින් ගනුව මේ ලෙස"

                                                                                             (මුදියන්සේ දිසානායක - ඉහත එම)

 

                                       


                                             

 බලි ඇඹීම පිළිබඳ ක්‍රමවේදයන් ද බොහෝ දුරට බුදු පිළිම නෙළීමේ ක්‍රමවේද හා සමාන බව පෙනේ. "සාරිපුත්‍රය" "ආලේඛ්‍ය ලක්‍ෂණය" වැනි පොත්වල සඳහන් බුදු පිළිම නෙළීම පිළිබඳ ක්‍රමවේද හා මිමි ප්‍රමාණයන් සමඟ ද සන්සන්දනය කළ හැකිය.

 

බලිය අඹා නිම කිරීමෙන් පසු මීළඟ කාර්යය වන්නේ වර්ණ කිරීමයි. බලියේ අලංකාරවත් බව මෙන්ම සෞන්දර්යාත්මක ගුණය වඩාත් තිව්‍ර වන්නේ බලිය වර්ණවත් වීමත් සමගය. බලි වර්ණ ගැන්වීමේදී සායම් ස්‌වභාවික ද්‍රව්‍යයන්ගෙන් සාදා ගැනීම සාම්ප්‍රදායික ක්‍රමයයි. මෙහිදී සුදු. කලු, කොල, නිල්, තැඹිලි, දුඹුරු, ඇඳුරු සුදු රන්වන් යන වර්ණ බහුලව යොදා ගනී. එසේ වුවත් මෙම වර්ණ බලි සඳහා යොදා ගත්තේ ඒ ඒ ග්‍රහයන්ට විශේෂ වූ වර්ණ පිළිබඳ සැලකිලිමත් වෙමිනි. වර්ණ සාදා ගන්නා ක්‍රමය බෙහෙවින් සම්ප්‍රදායකය. සුදු වර්ණය සකසා ගත්තේ මකුලු මැටි වලිනි. කොල වර්ණය සකසා ගත්තේ අත්තන මදටිය, මිදෙල්ල, කොහොඹ ආදී ශාකවල කොළවල යුෂ වලිනි. පොල්කටු අඟුරු. කුඩුකර පෙරා ගැනීමෙන් කළු වර්ණය සකසා ගති. කහපාට සඳහා ගංගා අසබඩ ඇති පස හෝ කෑමට ගන්නා කහකුඩු යොදා ගනී. මේ ආකාරයට සාදා ගන්නා වර්ණ වලට අමතරව ඔලිද, මදටිය ආදී ඇට වර්ග ද බලියේ අලංකරණ කාර්යයන් සඳහා යොදා ගනී. වර්ණ ගන්වන තෙලිකූර සකසා ගැනීම ද ඉතා සම්ප්‍රදායිකවම සිදුවන අතර පොල්, හන, කිතුල් ආදී කෙඳි මගින් එය සකසා ගනී,

බලියේ උත්පත්තියේ පටන් අධ්‍යතනය දක්‌වා වූ ඉතා දීර්ඝ ඉතිහාසයක්‌ සම්ප්‍රදායක්‌ මෙන්ම ඒ හා බැඳුණු ජන සංස්‌කෘතියක්‌ ද පිළිබඳ කරුණු කාරණා සංක්‍ෂිප්තව මෙසේ සාකච්ඡා කළ හැකිය. දිගු ඉතිහාසයක සිට පැවත එන සම්ප්‍රදායක්‌ මෙන්ම ක්‍රියාවලියක්‌ ද පැවති බවත්, ඉතිහාසයේ බොහෝ දුරක සිට වර්තමානය දක්‌වාත්, එය නොනැසී පැවත එන බවත්, විවිධ මූලාශ්‍රයන්ගෙන් මෙන්ම ජන සංස්‌කෘතියෙන් ද ඒ අලලා කෙරුණු මෑත කාලීන පර්යේෂණ වලින් ද හඳුනාගත හැකිය.

බලි සම්ප්‍රදාය අපේ නූතන අධ්‍යතන විෂය ක්‍ෂේත්‍රයන්ට ද ප්‍රබල මූලාශ සපයන බව හඳුනාගත යුතුය. ඒ ඔස්‌සේ මිස එකී විෂය පථයන්ට සාපේක්‍ෂව සාකච්ඡා කළ යුතුව ඇත. මේ බලි යාගය හා සම්ප්‍රදාය පිළිබඳ පොත පත හා ජනශ්‍රැතිය සටහන් ඇසුරින් කරන ලද එහි තත්ත්වාකාර විවරණයකි, එවැන්නකට පූර්විකාවකි.


Saturday, March 25, 2023

 


      ඇතුලාන්තය.........


ජීවිතය හරි ලස්සනයි. එවගේම විවිධාකාරයි. ඒ ඒ පුද්ගලයාගේ වයස්  මට්ටම අනුව ජීවිතය ගත කරන ආකාරය විවිධාකාරයි. එවැනි පිරිස් අතරින්, ජීවිතය සරලව ගතකරමින් නැගී සිටීමට වෙහෙසෙන අයෙකුට තම ජීවිතය ගොඩනඟා ගැනීමට, කොපමණ දුක් කම්කටොලු, අභියෝග, විවිධ හැලහැප්පීම්, අසරණකම පැමිණිය  ද,  එවැනි පුද්ගලයෙකු දැඩි අධිෂ්ඨානය මත තම ජීවිතයේ ඉදිරි දැක්ම ඉදිරිය ගැන නිසි අවබෝධයක් හා ඉලක්කයක් ගොඩනඟා ගැනීම මත අනාගත සුබසිද්ධිය උදෙසා තමන් ගමන් කරන මාර්ගය යහපත් යැයි සිතන පරිදි ඔහු ශක්තිමත්  පුද්ගලයෙකු වේ. ''කන්දක් නගින කළ අනිවාර්යෙන් බෑවුමක්, පල්ලමක් තිබිය යුතුමයි'', ජීවිතය ද එසේමයි. දුක් කම්කටුලු කෙදිනක හෝ අත් වුවද යම් මතු දවසක සතුටක් ,සැනසීමක් අනිවාර්යෙන් උරුමය. අරමුණක්, ඉලක්කයක් යම්  පුද්ගලයකු සතු වේ ද, ඔහු ඒ සඳහා කැප වේ නම්, ඔහුගේ ඉදිරි ජීවිත ගමන සාර්ථක ය. 

😳😳😳💗💗 

  


ශ්‍රී ලංකාවේ බලි යාගය

                                  ශ්‍රී ලංකාවේ බලි උපත හා විකාශනය   විශ්වාසය මත පදනම් කරගත් යාග කර්ම ක්‍රමයක්‌ ලාංකේය සමාජයේ ද බොහෝ කලක ...